11/10/2026
රැකියාවයි මවුපියභාවයයි සමව ගෙනියන හැටි....💟
Working Mom කෙනෙකුට මුහුණ දෙන්න සිදුවන ප්‍රධාන අභියෝග මොනවාද?
අද කාලේ රැකියාවක් කරන මවකට තියෙන ලොකුම අභියෝගය තමයි එකම වෙලාවේ වගකීම් කිහිපයක් ඉටු කරන්න සිදුවීම. රැකියාවේ වගකීම් තියෙනවා, ගෙදර වගකීම් තියෙනවා, ඒ අතරේ දරුවාගේ පෝෂණය, සෞඛ්‍යය සහ මානසික අවශ්‍යතා ගැනත් බලන්න ඕනේ.
මේ හැමදේම කරද්දී ශාරීරික වෙහෙස වගේම මානසික පීඩනයත් ඇති වෙන්න පුළුවන්. සමහර මව්වරුන්ට රැකියාව කරන නිසා දරුවාට ප්‍රමාණවත් කාලයක් දෙන්න බැරි වුණා කියන වරදකාරී හැඟීමත් ඇති වෙනවා.
නමුත් මම කියන්න කැමතියි, හොඳ මවක් වෙන්න නම් රැකියාව අත්හැරිය යුතු නැහැ.
ඒ වගේම හොඳ රැකියාවක් කරන මවක් වෙන්න දරුවාගේ අවශ්‍යතා නොසලකා හැරිය යුතුත් නැහැ. අපි කළ යුත්තේ අපේ කාලය, ශක්තිය සහ වගකීම් නිවැරදිව කළමනාකරණය කරගැනීමයි.
කාර්යබහුල ජීවිතයක් අතර දරුවාට ප්‍රමාණවත් අවධානය ලබාදෙන්නේ කොහොමද?
අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. දරුවෙකුට අවශ්‍ය වන්නේ අම්මා නිතරම ළඟ ඉන්න එක විතරක් නෙවෙයි. අම්මා ළඟ ඉන්න වෙලාවේ තමන්ට ආදරය, අවධානය සහ ආරක්ෂාව ලැබෙනවා කියන හැඟීම.
උදාහරණයක් විදිහට, අම්මා දරුවා ළඟ පැයක් ඉඳගෙන දුරකථනය බලනවා නම්, ඒ කාලය පුරාම දරුවා සමඟ සැබෑ සම්බන්ධතාවක් ඇති වෙනවා කියලා කියන්න බැහැ.
ඒ වෙනුවට විනාඩි 15ක් හෝ 20ක් වුණත් දුරකථනය පැත්තකින් තියලා, දරුවාගේ ඇස් දෙක දිහා බලලා කතා කරනවා නම්, දරුවා කියන දේ අහනවා නම්, එකට සෙල්ලම් කරනවා නම් ඒ කාලය දරුවාට ඉතා වටිනව.
දරුවාට කාලය දෙනවා කියන්නේ දරුවා ළඟ ඉන්න එක විතරක් නෙවෙයි. දරුවාගේ ලෝකය තුළ අපිත් ජීවත් වෙන එකට.
3. අඩු කාලයක් තිබුණත් දරුවා සමඟ ගත කරන කාලය ගුණාත්මක කරගන්නේ කොහොමද?
සරල උදාහරණයක්.
උදේ දරුවා පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යන්න සූදානම් කරන වෙලාවේ, අම්මාට දරුවා සමඟ ආදරයෙන් කතා කරන්න. රාත්‍රියේ නිදාගන්න කලින් කතාවක් කියලා දෙන්න. එකට ආහාර ගන්න වෙලාවක දවසේ සිදුවුණු දේවල් ගැන කතා කරන්න.
දරුවාගේ වයසට ගැළපෙන විදිහට සෙල්ලම් කිරීම, උත්සාහය අගය කිරීම, තුරුලු කරගැනීම සහ ආදරය වචනවලින් ප්‍රකාශ කිරීම.
ආදරණීය ප්‍රතිචාර, ඔවුන්ගේ ආරක්ෂිත බැඳීම (secure attachment) වර්ධනයට උපකාරී වෙනවා. ඒ බැඳීම දරුවාගේ විශ්වාසය සහ හැඟීම් කළමනාකරණය වර්ධනයට වැදගත් පදනමක්.
4. වැඩ කරන මවකට සැලසුම් කිරීම කොතරම් වැදගත්ද?
සැලසුම් කිරීම කියන්නේ අනවශ්‍ය කලබලය අඩු කරගැනීම.
උදාහරණයක් , ඊළඟ දවසේ දරුවාට අවශ්‍ය ඇඳුම්, පාසල් බෑගය, ආහාර සහ තමන්ගේ රැකියාවට අවශ්‍ය දේවල් කලින් සූදානම් කරගත්තොත් උදෑසන ඇතිවන කලබලය ගොඩක් අඩු කරගන්න පුළුවන්.
සතියේ ආහාර සැලසුමක් , සැමියා හෝ පවුලේ අය සමඟ වගකීම් බෙදාගැනීම සහ හදිසි අවස්ථා සඳහා විකල්පය තබාගැනීම.
සැලසුම් කරලා වැඩ කරන කොට තමන්ගේ වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන් වගේම දරුවා සමඟ ගත කරන්නත් වැඩි නිදහසක් ලැබෙනව.
නමුත් තව දෙයක්, හැමදේම සැලසුම් කළත් ජීවිතයේ හැම දෙයක්ම අපි හිතන විදිහට සිදුවෙන්නේ නැහැනෙ. ඒ නිසා සැලසුමක් තිබීම වගේම අවශ්‍ය වෙලාවට ඒ සැලසුම වෙනස් කරගැනීමටත් හැකියාව තිබිය යුතුයි.
5. කාර්යබහුල මවකට දරුවාට නිසි පෝෂණය ලැබෙන බව තහවුරු කරගන්නේ කොහොමද?
දරුවාගේ බඩ පිරෙන එක විතරක් ප්‍රමාණවත් නැහැ. දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂක නිසි පරිදි ලැබෙනවාද කියන එකත් බලන්න ඕනේ.
දරුවාගේ පෝෂණය කියන්නේ එක දවසක කෑම වේලකින් තීරණය කරන දෙයක් නෙවෙයි. දිනපතා පවත්වාගෙන යන හොඳ ආහාර පුරුදු සහ දරුවාගේ වර්ධනය එකට සලකා බැලිය යුතුයි.
කාලය අඩු අම්මෙකුට දරුවාගේ ආහාර කලින් සැලසුම් කරගැනීම වැදගත්.
උදේ කලබලේ දුවනකොට වගේම වැඩ ඇරිලා ගෙදර එනකොට ගොඩක් මහන්සියි. එතකොට දරුවාට මොනවාද කන්න දෙන්නේ කියලා හදිසියේ තීරණය නොකර, පහසුවට සකස් කළ ආහාර හෝ සීනි, ලුණු සහ අහිතකර මේද වැඩි ආහාරවලට යොමු නොවී
සතියකට අවශ්‍ය ආහාර ගැන කලින් සැලසුම් කරගන්න එක, අවශ්‍ය දේවල් කලින් සූදානම් කරගන්න එක සහ ඉක්මනින් සකස් කළ හැකි පෝෂ්‍යදායී වට්ටෝරු කිහිපයක් දැනගෙන ඉන්න එක හරිම ප්‍රයෝජනයි.
('බබාට කෑම" වගේ ළමා කෑම Giuide එකක් ළඟ තියාගන්න එක මේ වෙලාවට ලොකු උදව්වක්)
ප්‍රධාන වශයෙන් බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා.
1) දරුවාගේ වයසට ගැළපෙන විදිහට ධාන්‍ය, ප්‍රෝටීන් ලබාදෙන ආහාර, එළවළු, පලතුරු සහ සෞඛ්‍ය සම්පන්න මේද ඇතුළත් විවිධ ආහාර ලබාදීම,
2) අස්ථි පද්ධතියට/රුධිර සංසරණයට යකඩ, කැල්සියම්, සින්ක් සහ විටමින් වැනි පෝෂක
3) මොලේ වර්ධනයට, මත්ස්‍ය ආහාර වැනි සුදුසු ආහාරවලින් ඔමේගා-3 මේද අම්ලත් ලබාගත හැකියි.
4) බර සහ උස වයසට අනුව නිසි පරිදි වර්ධනය වෙනවාද කියලා ළමා සෞඛ්‍ය සායනයේදී නිරීක්ෂණය සහ දැනුවත් වීම.
5) අමතරව, වයසට නොගැළපෙන ආහාර හෝ ගිලීමේදී හිරවීමේ අවදානම ඇති ආහාර ලබාදීමෙන් වැලකීම ඒවා කළමනාකරණය කරන විදිය කියාදීමට අවස්ථා ලබා ගැනීම.
දරුවා වෙනත් කෙනෙකුගේ රැකවරණයේ තබනවා නම්, ආහාර සැලැස්මක්, උපදේශන සහ වට්ටෝරු තියෙන මාර්ගෝපදේශයක් ලබාදීමෙන් දරුවාගේ පෝෂණය අඛණ්ඩව පවත්වාගන්නත් පුළුවන්.
නිවැරදි දැනුම සහ පුංචි සැලසුමක් තිබෙනවා නම් පෝෂ්‍යදායී ආහාර ලබාදීම වඩාත් පහසු කරගන්න පුළුවන්.
ඒ වගේම දෙමව්පියන්ම හොඳ ආහාර පුරුදු ආදර්ශයෙන් පෙන්වීම ඉතා වැදගත්.
6- වැඩ කරන මවක් දැනගන්න ඕනෙ තවත් වැදගත්ම දේවල් මොනවද?
අම්මා කෙනෙක් දැනගන්න ඕන ප්‍රධාන දෙයක් තමයි කිසිම දෙයක් පරිපූර්ණව කරන්න බැහැ කියන එක.ඔන්න ඔහොම පරිපූර්ණව කරන්න ගිහිල්ලා සමහර වෙලාවට මානසික ගැටලු වැඩි කරගන්න වෙලාවල් තියෙනවා.අම්මා ලෙඩ වුණත් මොකුත් කරන්න බෑනෙ.
සමහර දවස්වල රැකියාවට වැඩි අවධානයක් දෙන්න සිදුවෙයි. තවත් දවසක දරුවා අසනීප වුණොත් දරුවාට වැඩි කාලයක් දෙන්න සිදුවෙයි. මේක ජීවිතයේ සාමාන්‍ය දෙයක්.
තමන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රමාණවත් නින්ද, විවේකය, පෝෂණය සහ තමන්ට සතුටක් ලබාදෙන දෙයක් සඳහා කාලය වෙන්කරගැනීම වැදගත්.
සැමියා, පවුලේ අය සහ විශ්වාසදායක රැකවරණ සපයන්නන්ගේ සහාය මේ කාලෙදි අවශ්‍යයි.එය ලබාගන්න ලැජ්ජ වෙන්න එපා.
මවක් තමන් ගැන බලාගන්න එක ආත්මාර්ථකාමී දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ පවුල වෙනුවෙන් කරන වැදගත් ආයෝජනයක්.
දිගින් දිගටම මානසික වෙහෙස, දුක, කනස්සල්ල හෝ දෛනික වැඩ කරගැනීමට අපහසුතාවයක් තිබෙනවා නම් ඒ ගැන උපකාර ලබාගැනීමත් වැදගත්. (0766066777 we care වගේ මව්පිය උපකාරක සේවාවන් සඳහා කතා කරල උපදේශන ගන්න පුළුවන්)
07. අම්මා කාර්යබහුල වුණත් දරුවාට “මට අම්මාගේ ආදරය තියෙනවා” කියන හැඟීම ඇති කරන්නේ කොහොමද?
දරුවෙකුට ආරක්ෂිත බවක් දැනෙන්න නම් තමන්ගේ අවශ්‍යතාවයකදී අම්මා හෝ වෙනත් විශ්වාසදායක රැකවරණ සපයන්නෙකුගෙන් ආදරණීය ප්‍රතිචාරයක් ලැබෙනවා කියන අත්දැකීම වැදගත්.
දරුවා අඬන වෙලාවට සැනසීම ලබාදීම, දරුවා කතා කරන දේට සවන් දීම, ඔහුගේ හෝ ඇයගේ සතුට සහ දුක පිළිගැනීම, පුංචි ජයග්‍රහණ අගය කිරීම සහ ආදරය වචනවලින් පෙන්වීම මේ සඳහා උපකාරී වෙනවා.
දරුවාට නිතරම තෑගි අරන් දෙන එක හෝ මිල අධික දේවල් ලබාදෙන එක ආදරය පෙන්වන එකම ක්‍රමය නෙවෙයි.
අම්මා රැකියාවට යනවා නම් දරුවාට වයසට ගැළපෙන විදිහට තමන් නැවත එන බව පැහැදිලි කරන්න. දිනපතා කළ හැකි කුඩා පුරුද්දක් ඇති කරගන්න. උදාහරණයක් විදිහට, ගෙදර ආවම දරුවා සමඟ කතා කිරීම, එකට කතාවක් කියවීම හෝ නිදාගන්න කලින් ආදරයෙන් කාලය ගත කිරීම.
දරුවාගේ වයසට සහ අවශ්‍යතාවලට අනුව මේ දේවල් වෙනස් වුණත්, ස්ථාවර ආදරණීය සම්බන්ධතාවක් පවත්වාගැනීම ඉතා වැදගත්.
මතක තියාගන්න, ඔබ රැකියාවක් කරන නිසා ඔබේ දරුවාට ආදරය අඩු වෙන්නේ නැහැ. ඔබට හැම වෙලාවෙම දරුවා ළඟ ඉන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ දරුවා සමඟ ඉන්න හැම මොහොතකම ආදරය, අවධානය සහ ආරක්ෂාව ලබාදෙන්න උත්සාහ කරන්න.
දරුවාගේ පෝෂණය සැලසුම් කරන්න. පවුලේ අයගේ සහාය ලබාගන්න. ඔබේ මානසික සෞඛ්‍යයත් ආරක්ෂා කරගන්න.
දරුවෙකුට අවශ්‍ය වන්නේ පරිපූර්ණ අම්මා කෙනෙක් නෙවෙයි. ආදරය කරන, සවන් දෙන, තේරුම් ගන්න උත්සාහ කරන, අවශ්‍ය වෙලාවට ළඟින් ඉන්න අම්මා කෙනෙක්.
💟💟
උපුටා ගැනීම " අපේ මිස්" පිටුවෙන්